0

නුඹේ සුවඳ ~


මම නුඹේ දෑසට පෙම් බඳිමි 
ඒ එහි දීප්තියට නොව ...
දුක් විඳින උන් වෙනුවෙන් 
කඳුලක් ඇති නිසා ..


මම නුඹේ අත්ලට ඇළුම් කරමි 
ඒ සිනිඳු බවට නොව ...
එහි විරියෙන් පව්ලක් 
රකින නිසා ..


මම නුඹේ හදවතට පෙම් බඳිමි 
ඒ එහි මා වෙනුවෙන්ම නොව 
සෑම දුප්පතෙක් වෙනුවෙන්ම 
උණුවන නිසා ..
0

අද එනවද ?


හිරු අවරේ සැඟවී යන 
පාට පොදින් පොද බොඳ වෙන 
මලානිකම සිත් මල වට 
ඇසිල්ලකින් සුපිපෙන්නට 


නෙතු පියවෙන මන්දාරමේ 
හීන අරන් අද එනවද 
අසෙනිය මහ වැස්ස එක්ක
ගතට වඩා සිත තෙමෙන්න 


ඒ වැස්සේ තෙමි හැදෙන 
සහලෝලෙට උණ අරගෙන 
නුඹේ සෙනෙහෙන් උවැටන් ගෙන 
ප්‍රේමෙන් ආතුර වන්නට ~
0

වියෝගය ~

ගිම්හානෙ ඇවිල්ලා 
සදහටම රැගෙන ගිය 
මගේ සිහින එකින් එක
දස වසක් ගෙවී ගිය නිමේෂය .. 

වස්සානෙ ඇවිල්ලා
නොදනීම මා සොයා
පෙර සිහින එකින් එක
ගෙන ආපු මගේ ළඟට විශේෂය ..

ගිනි ගහන දහවලක්
පමණ වූ මගේ සිතට
නුඹ උනා මහ වැස්ස
නමුදු එය අකල් වැස්සක් කරපු මහෝගය ..

ඔබ දුන්නු සිහිලසින්
සිතක මල් පුබුදන්න
පාරමී පෙරුම් දම්
කඳුළු වෙනුවට සුසුම දුන්නු ඒ ලසෝගය ..

මා දෙනෙත් සාංකාව
කදුළැලිත් වෙනුවටම
දුන්නු සෙනෙහස අරන්
නුඹත් යන්නට ගිහින් හිමි කළා වියෝගය ..
0

සඳ ~


සඳට මුකුළුපාන 
ඉරට දෙස් දෙන 
නුඹ දන්නවද ..
හඳ එළියේ ආඩම්බර කම 
කව්රු නිසාද කියලා 
යතාර්ථය තේරුම නොගන්න 
නුඹත් සඳක්ම තමයි ...
නුඹගේ සුන්දර සඳට කියාපන්
ඉර නැතුව මොහොතක් හරි 
කළුවරට එළියක්‌ දෙන්න ~
0

බිය ~


මහ‌ගම සේකරගේ ප්‍රබුද්ධ කියවීමෙන් 
මම තට්ටු ගෙවල් වලට බිය වීමි ..
දැන් මට ඊට වඩා බියක් තට්ටු ගෙවල් පිලිබඳ දැනේ ...
එය කා නිසා ප්‍රේරණය වූවක් දැයි තවම මම සිතමි ...
0

වස්සානය ~


වස්සානය බලාපොරොත්තුවෙන් සිටි මා වෙත
ඈ වස්සානය වෙනුවට ගිම්හානය රැගෙන 
පැමිණෙන ඇත අතපසු වීමක් දෝ සිතට නොහේ 
මන්ද හාත්පස එකලු කරමින් විදුලි කොටා ගොරවයි.
0

ඔබේ මතකය ~

සඳ සෙවන යට නිදා නොනිඳා 
පහන් කළ රෑ සීතලේ ...
ඔබේ සුවඳින් හුදකලා වී 
සිතත් හොඳටම දුක් විඳි ...
ලඟම ගැවසුන සුසුම් සුවඳට 
තුරුළු වුනු මන්දාරමේ ...
සඳේ සිසිලස මතක නැතුවද 
හිතත් අරගෙන දුර ගියේ ...
දුරස්වී පිනි කඳුළු ගෙනැවිත්
ලඟට දුන් ගණදුරු රැයේ ...
හිනාවෙන ඔය ඇස් දෙකෙන් මට 
ගෙනත් දෙනවද ආදරේ ...
0

සන්නාලිය ~

පාන්දර පහේ සිට රෑ දහය වෙනකම්ම 
අසංවේදී මැසිම කරන ඔච්චම් නුඹට 
නුලටම දශමෙටම ඇඳුමේ හැඩ තල ගත්ත 
නමුදු ජීවිතේ නෑ හැඩ පේන ඉසව්වක

සන්නාලියක් වෙලා ජීවිතේ මහ ගන්න 
මල්ලිටයි නංගිටයි පොතක් පෑණක් ගන්න
අප්පච්චි ලෙඩ ඇඳේ බෑ වැඩක් කරගන්න 
හිත කීරී ගැහෙනවා පඩි දවස ලන්වෙත්දී 

මහන එක සළුවකින් මාසෙකට පඩි දෙන්න 
හැකි උනත් කපා ඇත නුඹේ සොච්චම් පඩිය 
හිනාවෙන හුඟ දෙනෙක් නුඹෙන් විලි වහගත්තු 
එපා නුඹ දුක් වෙන්න ඒ ඉන්නේ නිරුවත්තු ..

හැමදාම නියං නෑ එයිද වැහි වලාවක් 
හිත හදා ගන්නවත් හිතාගෙන ලං වෙච්ච 
පෙම්වතත් හැමදාම විමසන්නේ දැවැද්ද
දුක දැනෙන මෘදු හිතට මැසිම බර වැඩි නැද්ද ?
0

බිනර සඳ ~


බිනර මහ අඳුර මැද 
සිසිල් සඳ එලිය වෙද
රිදී පැහැයෙන් දිලෙන 
අතීතයේ විදුලි සැර ...
හෙන හඬින් ගුගුරුවා 
කඳුළු වැස්සක් අරන් 
නුඹ නමින් තව තවත් 
තෙමි හෙම්බත් වෙම්ද ?
0

අත්තම්මා ~

වසා ගන්නම් දෙනෙත් යුග මත 
මතක් කෙරුමට මතක නුඹ ගැන 
ඇසිල්ලෙන් එන සුවඳ සිප ගෙන 
සැවැන් මුල් විලවුන් පරදගෙන ~

කවා බත් ගුලි ගණන් කරකර 
කතන්දර පොත අතට අරගෙන
අත්තම්මාගෙන් අහන කවියක
සුන්දරත්වය තවම සිත තුල ~

අප දමා නුඹ ගියත් සුර ලොව
අපේ සිත් වල නුඹ තවම ඇත
අත්තම්මේ මට දැනෙයි තවමත්
නුඹේ සෙනෙහස හිරු වගේ ~
0

සමු ගෙන යන්නම් ~


යා යුතුම ගමනක් ඇතත්
යා යුතුම බව දැන දැනත්
කෙලෙස ඔබ මා දමා යන්නේ
ඔබය මා සනසන්නේ ~


දුරින් ඉන්නා බව නොපෙන්වා 
සනසවා සිත ලඟන් උන්නා 
පාළු මාවත කෙලවරේ 
නුඹ නොමැති වග දනී මා ~


නුඹෙන් වෙන්වී දුර ගියත් 
සිහිනයම නැත මියෙන්නේ
අදින් සමු ගෙන යන නුඹෙන් 
හෙටත් හමුවෙමු අප හොරෙන් ~
0

වැස්ස ~

ගත සිත තෙමාගෙන වහින වැස්ස සෝදන්න පුලුවන්ද නුඹට මගේ සිත ඉස්සරම ඉස්සර දවසක් නුඹට මතකද ? මම තෙමුනා මේ වැස්සටම ඈ එක්ක මේ වගේම ... එදා මා ළඟ උන්නු මගේ සිත අද්දර උන්නු ඒ අහිංසකාවි නුඹට මතකද ? මේ මහ වැස්සට බැරිද හෝදලා දාන්න ඒ මතකය මගේ මුළු හිතින්ම අද මම තනියම.. අනුකම්පාවක් නැද්ද නුඹට අද මා එක්ක වැස්සේ තෙමෙන්න වෙලාවක් නෑ ඈ ට අතේ කරේ පින්න ගත් දරුවෝ සමගිනුයි ඈ ඉන්නේ වැස්සක් නොදකින්න බලාගෙන එපා වැසි කියාගෙන අතු ගෙවුන පැල් පතේ දරුවන්ව රකින්නට නුඹෙන් එපා තව දුක් දෙන්න පෙර කරපු වැරදි මත සංසාරේ පතන්නට සපත උන ඈ කෙරේ මගේ සිතේ දුකක් නෑ මට ඇහැකි විඳින්නට කමා වී කරනු නොවසිනු අනෝරා මහා වැස්ස ..
0

උදුරන් කන මාළු ~


මගුලකට මරණෙකට සාදෙකට වන්දනා ගමනකට 
සාංගික දානෙකට දන්සැලට ෆ්‍රෙෂ් මාළු ටින් මාළු
කරවලට ජාඩියට ලුනුදදා කල් තියන් 
නුඹ බලෙන් ඩැහැ ගත්තු මගේ සනුහරේ මාළු


ඔය කියන හැම දේට අරන් යන මගේ මාළු 
පාන්ෂකුලය දෙනකොට මට නොදුන් පිං බිඳක් 
කටු නැතුව ලොකු කෑලී පිංපතා බෙදනකොට 
සොරා ගත් මගේ මස් පිණිස දුන්නාද පිං බිඳක්


තෙලට මිරිසට කිරට රසයි හරි ගුණ දේලු
කව්රුවත් කාටවත් බෙදනකොට සිතුනාද 
පිං බිඳක් මට දෙන්න සසර මතු නොම වෙන්න 
හුස්ම සිරවී නැසී නුඹලාව පිනවන්න ....

මල් අසුන ~

නුඹ නෙලා ගෙනගොස් පුදන්නට සිතයි මට
තිලෝගුරු පියාණන් අබියසම පරවෙන්න 
සැදෑ සිත් ගත් මම වුවද දකින්නේ
සුවඳ විහිදෙන උඹේ මුදු මොලොක් බව ..
මල සුදුයි සුවඳ වෙයි එහෙත් නුඹ පරව යන 
ගල් අසුන ගැන කෙනෙක් සිතුවාද කිසි කලෙක ?
නුඹ දිනක් මත්තෙන්ම පරව යයි දී සුවඳ
නුඹට පිං පතනවා නුඹ හැඩයි කියනවා
මල් පුදන ගල් අසුන කල්පයක් බණ අසයි මල් දරයි
එහෙත් නෑ කිසි කෙනෙක් ගලට පිං පුදන්නේ ...
0

අලුත් කවියක් ~


අලුත් කවියක් සිහිනයට
සිතුම් අතරේ එතෙන්නට
නිහඬ සතුටක් විඳින්නට 
අරමුණක දුර දුවන්නට ...


කොහේ කොතනක සිට 
සිහිනයක් මග බලන්නට 
පැතුම් පුරවා සිටින්නට 
නුඹ ලගින් බව දැනෙයි මට ...
0

යන්න ගියා ඔබ


සුමුදු මල් පෙති ගියේ මිලිනව
විහඟ ගීතය සැඟව කොයිබද
රුහැයි නාදය සමඟ තනියට
සිටියේ සුසුමන් පමණි මා ළග


ගියා දුර ඔබ තවත් බෝ දුර
බලා උන්නා සිතින් නිසලව
හඬන්නටවත් වරම්නැති වුණි
වරද මගේමද කියාපන් මට


දෙනෙත් උතුරා කඳුළු නාවද
නමුදු දැවුනෙමි සිතින් සියවර
නුඹට සිතුනෙද සැහැසි වූ බව
කුමක් කරමිද අසරණයි මම 

කඳුල ~


කදුළු කෙතරම් අමිහිරි දැයි
සිතට නැගෙන සිතිවිලි
කදුලක් වන්නේ ඇයි දැයි 
කදුළු දන්නැති තරම් ~
0

මට දුරයි ~


නුඹ ඉන්නෙ කිලෝමීටර සිය ගණනක් ඈතින් 
හඳ තියෙන්නෙ කිලෝමීටර දස දහස් ගණනක් ඈතින් 
හඳ නුඹට වඩා දහස් ගුණයක් ඈතින් තිබිලත්
මට හැමදාම පේනව ..
කිලෝමීටර සිය ගණනක් ඈතින් ඉන්න නුඹ දකින්න 
මම දස දහස් වාරයක් පෙරුම් පුරනවා ..
මට හැමදාම බලා ඉන්න ~
නුඹව ගෙනල්ල මට හ‍‍ඳෙන් තියන්න පුළුවන්නම්....
0

ගන් දෑල ~


පෙරමග ලකුණු බල බලා 
උන්නෙමි සිතින් දින බලා 
තව තව පමා වෙනු බලා 
හිත මගේ ඉන්නේ වෙහෙසිලා ...


ගන් දෑල ළඟ සැඟවිලා 
දෙඩු පෙම්බස් ගොළුවෙලා 
සියක් ගව් දුර තනි වෙලා 
ඉන්නේ කොහොමද වෙන්වෙලා ...


හමන මඳනල හමු වෙලා
කියනවද පැතුමක් වෙලා 
හිරිපොදේ සීතල ගලා 
සුසුමකින් උණුසුම් වෙලා ...


පාලමේ දෙපසට වෙලා 
ඉන්න බෑ තව තනි වෙලා 
එකම ඉවුරක එක් වෙලා 
වඩිනු එක පැතුමක් වෙලා ...
0

යලි හමුවෙමු ~

ඉතින් හැර යා යුතුයි නුඹ 
දරා ගන්නට නොහැකි නුඹේ පෙම 
දුකින් වුව හැර යා යුතුයි මම 
ජීවිතේ තව ගොඩක් කඩඉම් 
පසු කරන්නට නැත මා හට 
එහෙත් නුඹ හා තවත් ඉන්නට 
සමාධි සිතක් නැත මා හට
නුඹට පෙම් බැඳි හිතත් රැකගෙන
ඉතින් අවසරයි වෙන්වී යන්නට
දිනක් තිබුනොත් මැරෙන්නට පෙර
යළිත් එන්නම් නුඹේ තුරුලට
ගැහෙන දෙතොලින් නුඹව සිඹිමින්
හදවතින් තුරුලටම ගන්නම්
එතෙක් සමුදුන මැනවි මා හට
දුකින් වුව සිහිනය දරාගෙන
සදා ආදර මගේ පන්හිඳ....
0

මටම දෙන්න ~

අඬාපු හිත 
සනසවන්න
නෙතු තනියට
ලඟින් ඉන්න
පොරොන්දුවට 
ඉල්ල ගත්තු 
කඳුළු බින්දු
මට ආපහු
ගෙනත් දෙන්න ...
0

අඳුරට හුරු ..

අඳුරටම හුරු වෙච්ච 
තනිකමට නතු වෙච්ච 
ජීවිතේ රළු වෙච්ච 
කාලයක් ගත වෙච්ච 

දිනෙන් දින පැනයත්දී
පැතුම් මල් පරවෙත්දී
නුඹ මගෙන් සමුගත්දී
මම ලොවෙන් සැඟවෙත්දී

ඔච්චමට හිනා උන
මිතුරන්ට සතුරු උන
නුඹේ දොස් නිදොස් උන
මටම මා එපා උන ~
0

ගිනිගත් හිත


අකුර අකුර එකතු කරලා 
මම ලියපු මගේ සංසාර හීනය 
කීම නුඹ වීසි කලේ 
රුදුරු ගිණි ගොඩකට
නිමේෂයකින්  
නුඹ දවා හළු කලේ 
මගේ මුළු ආත්මයයි ..

නුඹ ඇවිත් යන්න ~

නුබ ඇවිත් යන්න එක දවසක් 
මග බලාන ඉන්නම් කල්ප කලක් 
නිල් තරු අතරින් සඳවතිය වෙලා 
නුබ අවේ නැතිනම් කවදාවත් 
මට දරාගන්න බෑ ඒ දුකනම් 

නුබ සිනා සලන හැටි කර සරදම් 
නිල් අහස දනීනම් කවදා හෝ 
සඳවතිය වෙලා මගේ අහස යටින් 
තරු රෑන පිරිවරා එනවාමයි 
නෙතු පියන් යටට නුබ එනවාමයි ..
0

කාලය ~

මා තුරුලට ගෙනවිත් දී
මා ගත සිත කුල්මත් වී
මා කවි පද ගොතනා සඳ
මා සමඟින් සිනාසුනී

ඈතක ඈ පාලා යතී
ආපසු මා හා හැරෙතී
සුසුමක් හැර හිනැහෙන සඳ
මා සමඟින් සිනාසුනී

මා දෑතම වෙවුලද්දී
හැඟුමන් සිත තෙරපෙද්දී
යතුරු පුවරු විලංගු ලා
මා සමඟින් සිනාසුනී

කාලය...
0

ඔබට ..

මියැදුනු හදට ජිවය සොයා කදුලින් බරව ජීවිතයම ගෙවනු එපා
මල් පරවෙනවා තරු මියැදෙනවා ධර්මය වලක්වනට ඔබ යන්න එපා
ගිය අය ගියත් ලුහු බැඳ බැඳ තව දුරටත් යන්න එපා 
අද සිටිනා අය ගැන සිතා සතුටින් හිදිනු ලස්සන හෙට දිනක් පතා ...
Back to Top