skip to main |
skip to sidebar
මම නුඹේ දෑසට පෙම් බඳිමි
ඒ එහි දීප්තියට නොව ...
දුක් විඳින උන් වෙනුවෙන්
කඳුලක් ඇති නිසා ..
මම නුඹේ අත්ලට ඇළුම් කරමි
ඒ සිනිඳු බවට නොව ...
එහි විරියෙන් පව්ලක්
රකින නිසා ..
මම නුඹේ හදවතට පෙම් බඳිමි
ඒ එහි මා වෙනුවෙන්ම නොව
සෑම දුප්පතෙක් වෙනුවෙන්ම
උණුවන නිසා ..
හිරු අවරේ සැඟවී යන
පාට පොදින් පොද බොඳ වෙන
මලානිකම සිත් මල වට
ඇසිල්ලකින් සුපිපෙන්නට
නෙතු පියවෙන මන්දාරමේ
හීන අරන් අද එනවද
අසෙනිය මහ වැස්ස එක්ක
ගතට වඩා සිත තෙමෙන්න
ඒ වැස්සේ තෙමි හැදෙන
සහලෝලෙට උණ අරගෙන
නුඹේ සෙනෙහෙන් උවැටන් ගෙන
ප්‍රේමෙන් ආතුර වන්නට ~
ගිම්හානෙ ඇවිල්ලා
සදහටම රැගෙන ගිය
මගේ සිහින එකින් එක
දස වසක් ගෙවී ගිය නිමේෂය ..
වස්සානෙ ඇවිල්ලා
නොදනීම මා සොයා
පෙර සිහින එකින් එක
ගෙන ආපු මගේ ළඟට විශේෂය ..
ගිනි ගහන දහවලක්
පමණ වූ මගේ සිතට
නුඹ උනා මහ වැස්ස
නමුදු එය අකල් වැස්සක් කරපු මහෝගය ..
ඔබ දුන්නු සිහිලසින්
සිතක මල් පුබුදන්න
පාරමී පෙරුම් දම්
කඳුළු වෙනුවට සුසුම දුන්නු ඒ ලසෝගය ..
මා දෙනෙත් සාංකාව
කදුළැලිත් වෙනුවටම
දුන්නු සෙනෙහස අරන්
නුඹත් යන්නට ගිහින් හිමි කළා වියෝගය ..
සඳට මුකුළුපාන
ඉරට දෙස් දෙන
නුඹ දන්නවද ..
හඳ එළියේ ආඩම්බර කම
කව්රු නිසාද කියලා
යතාර්ථය තේරුම නොගන්න
නුඹත් සඳක්ම තමයි ...
නුඹගේ සුන්දර සඳට කියාපන්
ඉර නැතුව මොහොතක් හරි
කළුවරට එළියක් දෙන්න ~
මහගම සේකරගේ ප්‍රබුද්ධ කියවීමෙන්
මම තට්ටු ගෙවල් වලට බිය වීමි ..
දැන් මට ඊට වඩා බියක් තට්ටු ගෙවල් පිලිබඳ දැනේ ...
එය කා නිසා ප්‍රේරණය වූවක් දැයි තවම මම සිතමි ...
වස්සානය බලාපොරොත්තුවෙන් සිටි මා වෙත
ඈ වස්සානය වෙනුවට ගිම්හානය රැගෙන
පැමිණෙන ඇත අතපසු වීමක් දෝ සිතට නොහේ
මන්ද හාත්පස එකලු කරමින් විදුලි කොටා ගොරවයි.
සඳ සෙවන යට නිදා නොනිඳා
පහන් කළ රෑ සීතලේ ...
ඔබේ සුවඳින් හුදකලා වී
සිතත් හොඳටම දුක් විඳි ...
ලඟම ගැවසුන සුසුම් සුවඳට
තුරුළු වුනු මන්දාරමේ ...
සඳේ සිසිලස මතක නැතුවද
හිතත් අරගෙන දුර ගියේ ...
දුරස්වී පිනි කඳුළු ගෙනැවිත්
ලඟට දුන් ගණදුරු රැයේ ...
හිනාවෙන ඔය ඇස් දෙකෙන් මට
ගෙනත් දෙනවද ආදරේ ...
පාන්දර පහේ සිට රෑ දහය වෙනකම්ම
අසංවේදී මැසිම කරන ඔච්චම් නුඹට
නුලටම දශමෙටම ඇඳුමේ හැඩ තල ගත්ත
නමුදු ජීවිතේ නෑ හැඩ පේන ඉසව්වක
සන්නාලියක් වෙලා ජීවිතේ මහ ගන්න
මල්ලිටයි නංගිටයි පොතක් පෑණක් ගන්න
අප්පච්චි ලෙඩ ඇඳේ බෑ වැඩක් කරගන්න
හිත කීරී ගැහෙනවා පඩි දවස ලන්වෙත්දී
මහන එක සළුවකින් මාසෙකට පඩි දෙන්න
හැකි උනත් කපා ඇත නුඹේ සොච්චම් පඩිය
හිනාවෙන හුඟ දෙනෙක් නුඹෙන් විලි වහගත්තු
එපා නුඹ දුක් වෙන්න ඒ ඉන්නේ නිරුවත්තු ..
හැමදාම නියං නෑ එයිද වැහි වලාවක්
හිත හදා ගන්නවත් හිතාගෙන ලං වෙච්ච
පෙම්වතත් හැමදාම විමසන්නේ දැවැද්ද
දුක දැනෙන මෘදු හිතට මැසිම බර වැඩි නැද්ද ?
බිනර මහ අඳුර මැද
සිසිල් සඳ එලිය වෙද
රිදී පැහැයෙන් දිලෙන
අතීතයේ විදුලි සැර ...
හෙන හඬින් ගුගුරුවා
කඳුළු වැස්සක් අරන්
නුඹ නමින් තව තවත්
තෙමි හෙම්බත් වෙම්ද ?
වසා ගන්නම් දෙනෙත් යුග මත
මතක් කෙරුමට මතක නුඹ ගැන
ඇසිල්ලෙන් එන සුවඳ සිප ගෙන
සැවැන් මුල් විලවුන් පරදගෙන ~
කවා බත් ගුලි ගණන් කරකර
කතන්දර පොත අතට අරගෙන
අත්තම්මාගෙන් අහන කවියක
සුන්දරත්වය තවම සිත තුල ~
අප දමා නුඹ ගියත් සුර ලොව
අපේ සිත් වල නුඹ තවම ඇත
අත්තම්මේ මට දැනෙයි තවමත්
නුඹේ සෙනෙහස හිරු වගේ ~